රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය

24th April 2024 15:24

සිදුවීම්

මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසහන

වර්තමාන පකිස්තානය අතීතයේ ඉන්දියාවේ කොටසක් වූ අතර එහි උර්දු භාෂාව භාවිත විය. 1947 දී උර්දු භාෂාව භාවිත කරන ප්‍රදේශ මුල් කරගනිමින් පකිස්ථානය බිහිවූ අතර වර්තමාන බංග්ලාදේශයද නැගෙනහිර පකිස්තානය ලෙස එහි කොටසක් විය. පකිස්ථානයේ උර්දු භාෂාව බහුලව භාවිත වූවද බංග්ලාදේශයේ බහුලව භාවිතා වූයේ බෙංගාලි භාෂාවය. පකිස්ථානය බිහිවීමත් සමග එහි නිල භාෂාව බවට උර්දු භාෂාව පත්වූ අතර වර්තමාන පකිස්ථානය යටතේ පාලනය වූ බෙංගාලයෙහි භාෂාවද උර්දු විය යුතු බව පකිස්ථාන රජය තීරණය කරන ලදී.

එම යෝජනාවට එරෙහිව බංගලාදේශ ජාතිකයන් විරෝධතා එල්ල කරන්නට විය. බෙංගාලි බස නිල භාෂාව ලෙස ප්‍රකාශයට පත් කර ගැනීම සඳහා එහි ජනයා විශාල අරඟලයක් ගෙන ගිය අතර, “බෙංගාලි භාෂා ව්‍යාපාරය” යනුවෙන් හැඳින්වෙන්නේ ද එම අරඟලයයි. එය 1952 වසරේ පෙබරවාරි 21 වැනිදා තීරණාත්මක ස්ථානයකට ළඟා වූ අතර එදින ඇතිවූ විරෝධතාවයකදී බෙංගාල විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් හතර දෙනෙකු පොලීසිය විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබීය.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් ඝාතනය වූ 1952 පෙබරවාරි 21 දිනය සිහිපත් කරමින් සෑම වර්ෂයකම එම දිනය ජාත්‍යන්තර මවු භාෂා දිනය වශයෙන් යුනෙස්කෝ සංවිධානය (UNESCO) නම් කර ඇත.

මෙම ජාත්‍යන්තර මවු භාෂා දිනය වෙනුවෙන් රාජ්‍ය භාෂා කොමිෂන් සභාව විසින් “මවු භාෂා භාවිතය” සම්බන්ධයෙන් 2024.02.19 දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මාධ්‍යවේදීන් සඳහා දැනුවත් කිරිමේ වැඩසටහනක් පවත්වන ලදී.

මෙම වැඩසටහන සඳහා සම්පත්දායකයන් ලෙස රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ.ඩී.කලංසූරිය මහතා, රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ මණ්ඩල සාමාජික- කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානි, මහාචාර්ය සඳගෝමි කෝපරහේවා සහ මණ්ඩල සාමාජිකා - කැලණිය විශ්වවිද්‍යාලයේ වාග්විද්‍යා අංශයේ ආචාර්ය කවිතා රාජරත්නම් සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් බී.ඒ.දම්මින්ද කුමාර මහතා ද සහභාගි විය.

img

img2

දෙමළ භාෂා දිනය

වාර්ෂිකව ඔක්තෝබර් මාසය තුළ දෙමළ භාෂා දිනය සමරනු ලබන අතර, 2022 වර්ෂයේ රාජ්‍ය භාෂා කොමිෂන් සභාව විසින් මෙම දෙමළ භාෂා දිනය අරමුණු කරගනිමින් කොළඹ අධ්‍යාපන කලාපයෙහි දෙමළ මාධ්‍යයෙන් පමණක් අධ්‍යාපන කටයුතු සිදුකරනු ලබන පාසැල් 22 ක “පාසැල් භාෂා කව ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන” මූලික කරගනිමින් 2022.10.28 දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී විශේෂ වැඩසටහනක් පවත්වන ලදී.

මෙම වැඩසටහන රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ”භාෂාව සහ සමාජ සංවර්ධනය” මැයෙන් විශේෂ ආරාධිත දේශනයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දෙමළ අධ්‍යයන අංශ ප්‍රධානි මහාචාර්ය එස්.ප්‍රශාන්තන් විසින් සිදුකරන ලදී.

වැඩසටහන සඳහා සහභාගි වූ පාසල්වලින් ඉදිරිපත් කරන ලද දෙමළ සංස්කෘත අංගයන්ගෙන් වැඩසටහන වර්ණවත් විය. මෙම වැඩසටහන දෙමළ සංස්කෘතිය පිළිබිඹුවන ආකාරයට සිදුකර තිබූ අතර අමුත්තන් පිළිගැනීම දෙමළ චාරිත්‍රවලට අනුකූලව සිදුකරන ලද අතර එම ස්ථානයේ සංස්කෘතික සංකේතයන් ප්‍රදර්ශනය කර තිබුණි.

රාජ්‍ය භාෂා සතිය 2021 – දීප ව්‍යාප්ත පාසල් රචනා තරඟාවලියේ ජයග්‍රාහකයන්

වාර්ෂිකව ජූලි මස 01 දින සිට 05 දින දක්වා යෙදෙන රාජ්‍ය භාෂා සතිය නිමිත්තෙන් රාජ්‍ය භාෂා කොමිෂන් සභාව,ජාතික භාෂා සමානාත්මතා හා අභිවර්ධන ව්‍යාපෘතිය (NLEAP) සමග ඒකාබද්ධව 2021 වර්ෂයේදී පවත්වන ලද දීප ව්‍යාප්ත පාසැල් රචනා තරඟය සඳහා  පාසල් සිසු දරු දැරියන්ගෙන් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන්  රචනා 1210 කට අධික ප්‍රමාණයක් ඉදිරිපත් කර  තිබුණි.

මෙම රචනා තරඟය, කොරෝනා වසංගත තත්ත්වයක්  රටේ පැවති කාලයක සංවිධානය කර තිබූ අවස්ථාවකදී ඒ සඳහා සිසු සිසුවියන්ගෙන්  හා ඔවුන්ගේ දෙමාපියන්ගෙන් මෙන්ම පාසල් ගුරුවරුන්ගෙන් ලැබුණු යහපත් ප්‍රතිචාරය ඉතා අගය කොට සළකමු.

විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසන් තීරණය වූ අතර එම විනිශ්චය මණ්ඩලය විශ්වවිද්‍යාලවල භාෂා පිළිබඳ විශාරදයන්ගෙන් සමන්විත විය.

රචනා නිරීක්ෂණය කිරීමේදී සිංහල මාධ්‍ය රචනා  කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානි  මහාචාර්ය සඳගෝමි කෝපරහේවාගේ  ප්‍රධානන්වයෙන් ද, දෙමළ මාධ්‍ය රචනා කැලණිය විශ්විද්‍යාලයේ වාග්විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කවිතා රාජරත්නම්ගේ  ප්‍රධානන්වයෙන් ද ඉංග්‍රීසි මාධ්‍ය රචනා රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයන අංශ ප්‍රධානි මහාචාර්ය එස්.ජී.එස් සමරවීරගේ  ප්‍රධානන්වයෙන් ද සිදුකර ජයග්‍රාහකයන් තෝරා පත්කරගන්නා ලදී.

ඒ අනුව සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යවලින් ප්‍රථම,දෙවන සහ තෙවන ස්ථාන ජයග්‍රහණ හිමිකරගත් ජයග්‍රාහකයන්ට රාජ්‍ය භාෂා කොමිෂන් සභාව සහ ජාතික භාෂා සමානාත්මතා හා අභිවර්ධන ව්‍යාපෘතියේ  (NLEAP) උණුසුම් සුභපැතුම් පිරිනැමේ.

ජයග්‍රාහකයන් – කනිෂ්ඨ කාණ්ඩය

Winners_junior_1

winners_junior_2_

winners_junior_3

ජයග්‍රාහකයන් – ජ්‍යේෂ්ඨ කාණ්ඩය

winners_senior_1

winners_senior_2

winners_senior_3

ජයග්‍රාහී සටහන් කියවීමට මෙතන ක්ලික් කරන්න

Booklet - Winning Essays

සිංහල භාෂා දිනය

2022 වර්ෂයේ මාර්තු මස 02 වන දිනට යෙදී ඇති සිංහල භාෂා දිනය වෙනුවෙන් භාෂාවේ වැදගත්කම පිළිබඳව මහජන දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීමට රාජ්‍ය භාෂා කොමිෂන් සභාව තීරණය කර ඇත.

ජාත්‍යන්තර මවු භාෂා දිනය

2022 වර්ෂයේ පෙබරවාරි මාසයේ 21 වන දිනට යෙදී තිබූ ජාත්‍යන්තර මවු භාෂා දිනය වෙනුවෙන් රාජ්‍ය භාෂා කොමිෂන් සභාව මගින් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය තුළින් වැඩසටහන් පවත්වන ලදී.

රාජ්‍ය භාෂා සතිය

2021.07.01. සිට 2021.07.05 දක්වා රාජ්‍ය භාෂා සතිය වෙනුවෙන් රාජ්‍ය භාෂා කොමිෂන් සභාව විසින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

දැනුවත් කිරීමේ වැඩසටහනක්

රුහුණු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ විද්‍යාර්ථීන් සඳහා රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය සම්බන්ධ දැනුවත් කිරීමේ වැඩසටහනක් ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතියේ සහයෝගය ඇතිව 2021 මැයි මස පැවැත්වීමට නියමිත ය.